Sense8 TV Series


මේ කතා මාලාව ගලාගෙන යන්නෙ ප්‍රධාන චරිත 8 ක් මුල් කරගෙනයි. මුලදීම මේ අයට දරුණු විදියේ නරක හීනයක් පේනවා. එකම හීනය තමයි 8 දෙනාටම පේන්නේ. ඒ වගේම මෙයාලට හේතුවක් නැතුව විවිධ ශබ්ධ ඇහෙන්නට පටන් ගන්නවා සහ විවිධ අයගේ රූප මැවිලා පේනවා. ඒ වගේම එයාලට මේ රූප එක්ක කතා කරන්න වුනත් පුළුවන්. වෙලාවකට හේතුවක් නැතුව අඬන්න හිතෙනවා, විනෝදයක් දැනෙනවා, තරහාවක් දැනෙනවා, ආතතිය දැනෙනවා, විවිධ ශබ්ධ ඇහෙනවා, ඒ වගේම විවිධ ආශාවන් දැනෙනවා. මේ විදියට මේ හැමෝටම විවිධ අසාමාන්‍ය විදියේ දේවල් සිද්ධ වෙනවා.
ආරම්භයේදීම මෙයින් සමහරෙක් හිතන්නේ තමුන්ට පිස්සු හැදීගෙන එනවා කියලා. සමහරෙක් ඒවා ගනන් ගන්නේ නැතිව සාමාන්‍ය විදියට ජීවිතේ ගෙනියන්න උත්සාහා කරනවා. නමුත් මේ සිදුවීම් දිගින් දිගටම සිද්ධ වෙද්දී, මෙයාලට අවශ්‍ය වෙනවා මෙහෙම වෙන්නේ මොකද කියලා දැනගන්න. ටික කාලයකට පස්සේ හදිසියේම තමුන් ඉන්න තැන වෙනත් තැනක් විදියට දැනෙනවා. උදාහරණ විදියට කිව්වොත්: නයිරෝබි වල ඉන්න කොල්ලාට ලන්ඩන් වල ගෙයක් ඇතුලේ සිද්ධ වෙන දේවල් පේනවා. ලන්ඩන් වල ඉන්න කෙල්ලට, තමුන් නයිරෝබි වල පාරක් මැද හිටගෙන ඉන්නවා කියලා දැනෙනවා. රෑට ජර්මනියේදී නිදාගන්න ඇඳට ගියපු කෙනා, උදේට අවදි වෙන්නේ ඉන්දියාවේ ඇඳක් උඩින්. කණ්නාඩියක් ඉදිරිපිට හිටගත්තු කෙනෙකුට තමුන්ගේ ප්‍රතිභිම්බය විදියට පේන්නේ වෙනත් කෙනෙකුගේ රූපයක්. මේ විදියටම තමයි තමුන්ගේ හිතේ ඇතුලේ පේන සිදුවීම් සැබෑ දේවල් වගේමයි දැනෙන්නේ. ඒ වගේම තමයි හිතේ මැවිලා පේන පුද්ගලයින් තමුන්ගේ වටපිටාවේ ඉන්න අයට නොපෙනුනත්, තමුන්ට අතින් ස්පර්ශ කරන්න වුනත් පුළුවන්.
පස්සේ මෙයාලව හමුවෙන්න ජෝනාස් කියලා කෙනෙක් එනවා. මේ ජෝනාස් කියන කෙනාත් මෙයාලා වගේම කෙනෙක් කියලයි කියන්නේ. එයා මෙයාලට පැහැදිලි කරලා දෙනවා, තමුන් ඇතුලුව මේ ලෝකයේ 8 දෙනෙක් උපතින් එකිනෙකට සම්බන්ධයි කියලා. මෙයාලා වයසෙන් තරුණ අවධියට පැමිණුනාට පස්සේ කෙනෙකුට දැනෙන සංවේදනාවක්, එකිනෙකා අතරේ බෙදී දැනෙන්නට පටන් ගන්න බව කියනවා. ඒක ආරම්භ වෙන්නේ ඒ විදියටයි. පසුව මෙයාලගේ දැනුම එකිනෙකා අතරේ බෙදා හදාගන්න හැකියාව ලැබෙනවා. මේ අට දෙනාගෙන් කාටහරි කරදරයක් සිද්ධ වුනොත්, එයාට 8 දෙනාගෙන් ඕනේම කෙනෙකුගෙන් හෝ සියල්ලන්ගේම උදව් ඇතිව ඒ කෙනාට කරදරයෙන් බේරෙන්න හැකියාව ලැබෙනවා. උදාහරණ විදියට කිව්වොත්: තමුන් ගිනි අවි හසුරුවන්න දන්නේ නැතිනම් තමුන්ට පුළුවන් ගිනි අවි හසුරුවන්න දන්න කෙනෙකුගේ දැනුම හෝ විශේෂ හැකියාව උපයෝගී කරගෙන ගිනි අවි භාවිතා කරන්න. සටන් කරන්නට අවශ්‍ය තැනකදී තමුන් හොඳින් සටන් කරන්නට දන්නේ නැතිනම් තමුන්ට පුළුවන් සටන් කලාවේ දක්ශ කෙනාගේ දැනුම, හැකියාව, සහජ බුද්ධිය තමුන්ගේ වගේ භාවිතා කරලා සටන් වදින්න. හැබැයි මේක කරන්න පුළුවන් මේ 8 දෙනා ඇතුලේ විතරයි
මේ වගේ විශේෂ හැකියාව තියෙන අය එකපාරකට ලෝකයේ ඉපදෙන්නේ 8 දෙනෙකු පමණයි. මේ 8 දෙනෙකුගේ කණ්ඩායමක් රාශියක් (Cluster) විදියට හඳුන්වනවා. ඒ වගේම තමයි මේ විශේෂ මානසික ජාලකරණ සම්බන්ධතාව Psycellium කියලා තමයි හඳුන්වන්නේ.
මේ කතාවේදී මෙයාලගේ පෞද්ගලික ගැටලු වලදී මේ හැකියාවන් මෙයාලට ගොඩක් උපකාරී වෙනවා. ගොඩක් දුරට ගොඩක් අයගේ ජීවිතේ බේරෙන්නේත් මේ හැකියාව නිසා. ඒ වගේම සමහර වෙලාවට මේ හැකියාව වාතයක් වෙන වෙලාවන් පවා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් කෙනෙක් තේ බොන වෙලාවට තවත් කෙනෙක් උදේ කෑම ගත්තාම, කෑම කන කෙනාට තේ එකේ රස දැනෙනවා, තේ බොන කෙනාට උදේ කෑමක රසක් දැනෙනවා වගේ දේවල්. එකිනෙකාගේ දැනුම බෙදාගෙන මෙයාලා මෙයාලගේ පෞද්ගලික ප්‍රශ්ණ ගැටලු විසඳඟෙන ජීවත් වෙන අතරේ, මෙයාලා වගේ අයව දඩයම් කරන්න වෛද්‍යවරයෙක් එනවා. මේ නිසා මෙයාලට හැම වෙලාවකම වගේ බියෙන් සැකෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. මේ නිසා මේ 8 දෙනාගෙන් කිහිප දෙනෙකුට පණ බේරගන්න ලොකු ලොකු අවධානම් තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඉතින් ඔයාලට තේරෙනව ඇතිනෙ මෙච්චර ලොකු IMDB අගයකට හිමිකම් කියන්න තරම් මේ කතාව ලස්සන වුනේ කොහොමද කියල. ඉතින් ඔයාලටත් පුලුවන් මේ අය තම හැකියාවන් මොන වගේ දේවල් වලට යොදවයිද, අර වෛද්‍යවරයාට මොවුන්ට කරදර කිරීමට හැකිවෙයිද කියල දැනගන්න. එහෙනම් ඔයාලත් කතාව බලලම දැනගන්නකො ඉදිරියට මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියල.