High School Love On TV Series


මරණෙන් පසු ජිවිතය ගැන එක් එක් සමාජ වල තියෙන්නෙ එක එක විදිහෙ මත. කොරියානු සමාජයේ තියෙන්නෙ ඒ ගැන වෙනස් මතයක්. එයාලගෙ විශ්වාසය තමයි තමුන් මියගියාට පස්සේ අහසෙන් එහෙම නැතිනම් මළවුන්ගේ ලෝකයෙන් කෙනෙක් එනවා ඒ මියගිය කෙනාව එක්කගෙන යන්න. ඒ එන කෙනාට එයාලා කියන්නේ සුරදූතයා නැතිනම් දේවදූතයා කියලා. එහෙම කෙනෙක් ගැන තමයි මේ කතාවත් ගෙතිල තියෙන්නේ. තමන්ගෙ රාජකාරිය වන මියගිය අය ගෙනියන්න ආපු වෙලාවක වැරදීමකින් එයා මනුස්සයෙක්ව බේරගන්නවා. ඒකෙ අතුරුඵලයක් විදිහට එයා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙ දේවල් ගැන නොදන්න එයා ජීවිතේ ගෙවන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. සතුට විනෝදය වගේම දුකත් එකතු වෙලා හැදිල තියෙන මේ කතාවට ඔයාලා හැමෝම කැමති වෙයි කියලා අපි හිතනවා.
වූ හයින් කියන්නේ අවුරුදු 18ක කඩවසම් පිරිමි ළමයෙක්. එයා ජීවත් වෙන්නේ එයාගෙ ආච්චි අම්මත් එක්ක. කඩවසම් කම කාරුණික කම වගේම දක්ෂ බුද්ධිමත් කෙනෙක් නිසා පාසලේ ගැහැණු ළමයි බොහොම දෙනෙක් ඔහුව තමන්ගෙ සිහින කුමාරයා කරගෙන ඉන්නේ. ජින් යන්ග් කියන්නෙත් ඒ වගේ ගෑණු ළමයෙක්. එයාගෙ අම්මා තමයි ඒ පාසලේ සභාපතිතුමිය. ඇය බොහොම අහංකාර කාන්තාවක්. හදිසියේම දිනක පාසලට පැමිණෙන ඇය වූ හයින්ට බැණ වදිනවා තමන්ගෙ අහිංසක දුවව වූ හයින් රවට්ටනව කියලා. ඇය ගුරුතුමාට පවසනවා ඔහුට හැකි උපරිම දඬුවම ඒ වෙනුවෙන් ලබාදෙන ලෙසට. ඇගේ කැමැත්ත ඔහුව මෙම පාසලෙන් මාරුකර හැරීමයි. මෙම සිද්ධියෙන් ලැජ්ජාවට පත්වෙන ජින් යන්ග් දිවි නහ ගන්නයි සූදානම් වෙන්නේ. මේ දේවල් මෙහෙම වෙද්දි තවත් ලස්සන ගෑණු ළමයෙක් ඉන්නවා. එයා මනුස්ස ලෝකෙ සිදුවෙන දේවල් ගැන හරිම කුතුහලෙන් ඉන්නේ. ආදරේ ගැන වේදනාව ගැන දුක ගැන ඒ වගේ හැඟීම් ගැන එයාට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා. එයා ඒවට විසඳුම් හොයාගන්න කරන්නෙ නාට්‍ය බලන එක. ඇය වෙන කවුරුවත් නෙවෙයි දේවදූතියක්. ඇය එන්නේ මනුස්ස ලෝකෙ මැරෙණ අයව අරගෙන යන්න. ජින්ග් යන්ග්ව ගෙනියන්න එන්නෙත් ඇය තමයි. ඉතින් ඇයට ජින්ග් යන්ව ගෙනියන්න ආවම මොන වගේ දෙයක් වෙයිද... කතා මාලාව බලනකොට ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.